රාජ්‍ය අංශයේ වියදම් අවම කර ගැනීම සම්බන්ධයෙන් රජය විසින් ප්‍රතිපත්තිමය තීන්දුවක් ගෙන ඇති පසුබිමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ කාර්ය මණ්ඩලය පමණක් 70%කින් සිය වැටුප් ඉහළ නංවා ගැනීම කිසිසේත් අනුමත කළ නොහැකි සේම අතිශය අමානුෂික ක්‍රියාවක් බව කොළඹ දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ නායක සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.
මහ බැංකුව ස්වාධීන ආයතනයක් කිරීම පදනම් කර ගනිමින් මෙරට ජාතික ප්‍රතිපත්තියට පටහැනිව තවත් රටක් වගේ සිදු කරන අත්තනෝමතික හැසිරීමක නිරතවීමට ඉඩ නොදිය යුතු බවත් මීට පෙර රට බංකොලොත් බව මහ බැංකුව විසින් නිල වශයෙන් ප්‍රකාශ කරනු ලැබුවේද පාර්ලිමේන්තුවේ කිසිඳු අනුදැනුමක් නොමැතිව බවත් හෙතෙම චෝදනා කර සිටියි.
හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ දී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී වන අතර එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා මෙසේද පැවසීය.
අපට මතකයි පසුගිය සමයේ රට බංකොලොත් බව මහ බැංකුව ප්‍රකාශ කළ අවස්ථාවේ ඒ ගැන ප්‍රසිද්ධ කිරීමට පෙර පාර්ලිමේන්තුවේ අදහස් විමසීමක් සිදු නොකළ බව. පාර්ලිමේන්තුවේ අනුදැනුමක් නැතුව තමයි එදා ඒ තීන්දුව ගත්තේ. එදා ඩොලරය රුපියල් 380- 385 ක් වැනි අගයක තිබුණේ. නමුත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්තිය හමුවේ රටේ මුල්‍ය විනයක් ඇති කර ගෙන ගිය වැඩ පිළිවෙළ නිසා අද වන විට ඩොලරය රුපියල් 307ක පමණ අගයකට පත්ව තිබෙනවා.
මෙහිදී ප්‍රධාන කරුණු දෙකක් ගැන අවධානය යොමු කළ යුතුයි. පළමු වැන්න තමයි මේ ආකාරයට ඩොලරය හමුවේ රුපියල ශක්තිමත් බව පෙනුනත් අපි තවමත් විදෙස් ණය නොගෙවන බව. දෙවැන්න තමයි රජයේ වියදම් කිසියම් පාලනයකට නතුකර තිබෙන බව. ඒ නිසා ඉතා ප්‍රවේශමෙන් අප කටයුතු කළ යුතුයි. තවමත් අර්බුදය අවසන් නෑ. මෙහිදී ආදායම් වැඩි කිරීමක් ගැන දිගින් දිගටම අදහස් දැක්වෙමින් තිබෙනවා. නමුත් රාජ්‍ය වියදම් අඩු කිරීම, විශේෂයෙන් අනවශ්‍ය වියදම් අඩු කිරීම ගැනත් අවධානය යොමු කළ යුතුයි.
මේ රටේ බදු ආදායමින් රුපියල් බිලියන 1700ක් පමණ වැය කරන්නේ ලක්ෂ 16 ක් පමණ වන රාජ්‍ය සේවකයන් ප්‍රමාණයක් නඩත්තු කිරීමටයි. රාජ්‍ය බදු ආදායමින් 75%-80% ක් පමණ ඊට වැය කෙරෙනවා. මේ තත්ත්වය වෙනස් කළ යුතුයි. අපිට පුළුවන් නම් මේ ප්‍රමාණය රුපියල් බිලියන 900කට වගේ අඩුකර ගන්න, ඒ ඉතුරු මුදලින් සෞඛ්‍ය අංශයේ අඩුපාඩු, පාසල් පද්ධතිය සංවර්ධනය කිරීම, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් නැංවීම වැනි කටයුතු සඳහා යොදවන්න පුළුවන්.එහිදී මේ යොදවන මුදල් පෙරලා ආයෝජන බවට පත්වෙනවා.
වියදම් අඩු කරලා, ආදායම් වැඩි කළ විට ලෝකය අපි පිළිබඳ විශ්වාසයක් ඇති කර ගන්නවා. එවිට ඔවුන් පිළිගන්නවා අප මුල්‍ය විනයක් ඇතුව කටයුතු කරන බව. ඒ වගේම අපි ණය ගෙවන අවස්ථාව වන විට අපනයනය ශක්තිමත් කර ගෙන සිටිය යුතුයි. ඩොලර් බිලියන 12 ක විදෙස් ඉපයීම් ඩොලර් බිලියන 19-20ක් දක්වා වැඩි කර ගැනීමට කටයුතු කළ යුතුයි. ඒ ඉලක්කය සපුරා ගන්න පුළුවන් වුණොත් අපේ ප්‍රශ්නය විසඳෙනවා.
අද සංචාරක කර්මාන්තයෙන් ඩොලර් බිලියන 5ක් වගේ ප්‍රමාණයක් උපයනවා. විදෙස්ගත ශ්‍රමිකයන් මඟින් ඩොලර් බිලියන 7ක් වගේ ඉපයීමක් සිදු වෙනවා. මේ ගණන ප්‍රමාණවත් නෑ. රජයේ නිලධාරීන් මේ ගැන දැනුවත්. ඒ වගේම මේ සම්බන්ධව ක්‍රියාමාර්ග ගැනීම ඔවුන්ගේත් රාජකාරිය. ඔවුන් දේශපාලනඥයන් දැනුවත් කළ යුතුයි. උපාය මාර්ග යෝජනා කළ යුතුයි. ඒ හැර නිදා ගෙන ඉඳලා දැන් බංකොලොත් කියලා කියන්න වෘත්තිකයන් මොකටද..?
පවතින ආර්ථික දුෂ්කරතාවෙන් රට මුදා ගන්නා තෙක් රාජ්‍ය අංශයේ වියදම් පාලනය කිරීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීන්දුවක් ගත්තා. ඒ තීන්දු තීරණ ගන්නා තැන මහ බැංකුවේ වග කිව යුතු නිලධාරීන් හිටියා. ආර්ථික දුෂ්කරතා පැවතියත් අනෙක් රාජ්‍ය සේවකයන්ගේ ද වැටුප් වැඩි කිරීමට නොහැකි බව සඳහන් කළේ මුල්‍ය අංශය දුර්වලව පැවති නිසයි.
ඒ නිසා ඒ අයට ඉවසන්න කිව්වා. අනෙක් රාජ්‍ය සේවකයන් ඉවසනවා නම් මහ බැංකු සේවකයන්ද ඉවසන්න ඕන. එහෙම නැතුව සියලු වියදම් අවම කරන්න, පාලනය කරන්න තීන්දු ගෙන, ඒ තීන්දු ක්‍රියාත්මක වෙන කොට මහ බැංකු සේවකයන් විතරක් 70% කින් වැටුප් වැඩි කර ගන්නේ කොහොමද..? ඒ ක්‍රියාව ප්‍රායෝගික නෑ. කොහෙත්ම අනුමත කරන්නත් බෑ . ජනතාව දුෂ්කරතා විඳගෙන සිටින පසුබිමක බිලියන 2.5ක් පමණ මුදලක් මේ ආකාරයට වෙන්කර ගැනීම ඉතාම අමානුෂික ක්‍රියාවක් බවත් කියන්න අවශ්‍යයි.
මහ බැංකුව ස්වාධීන වූ පදනමින් ඒක මේ රටේ තියෙන වෙන රටක් වගේ හැසිරෙන්න නරකයි. නමුත් ඔය අවදානම එන්න පුළුවන් බව කාලයකට පෙර මමත් පෙන්වා දුන්නා. නමුත් එදා පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස ඒ ගැන අවධානය යොමු කළේ නෑ. දැන් කරන්න තියෙන්නේ කවුරුත් පොදු ප්‍රතිපත්තිය ඇතුළේ සිට වැඩ කරමු කියන යෝජනාව සිදු කරන්නයි. අවශ්‍ය ප්‍රතිලාභ අනිත් සැමටම වගේම මේ අර්බුද සමය අවසන් කර ගත්තාට පසුව ලබා ගමු කියන එකඟතාවට පැමිණීමයි.
ඇත්තටම රාජ්‍ය අංශයේ, මහ බැංකුවේ දක්ෂ කාර්යක්ෂම නිලධාරීන් සිටිනවා. පිරිසක් තමයි මේ අත්තනෝමතික ආකාරයට හැසිරෙන්නේ. ආර්ථිකය කියන විෂයේ වෘත්තීය භාවය ඔවුන්ට තියෙනවා කියන පදනමින් ප්‍රතිපත්තිමය තීරණ වෙනස් කරන්න ඉඩ දෙන්න නරකයි. මොකද රාජ්‍ය අංශයේ තවත් ඉංජිනේරුවන් ඉන්නවා, ගණකාධිකාරීවරුන්, නීතිඥයන්, මහාචාර්යවරුන්, පර්යේෂකයන් ඉන්නවා. ඒ අයත් ඔවුන්ගේ විෂයට අදාළ වෘත්තිකයන්. තීන්දු තීරණ ගන්න කොට වගකීමෙන් කටයුතු කරන්න ඕන කියන්නේ ඒ නිසයි.
හැමදේටම දේශපාලනඥයන්ට බනින්නේ. නමුත් නිලධාරීන්ද මේ අර්බුදයට වග කිව යුතුයි. මහ බැංකුව ගත්තොත් ඔවුන්ගේ කාර්ය පොලී අනුපාත වෙනස් කරමින් උද්ධමනය පාලනය කිරීම පමණක් බව සිතා කටයුතු නොකළ යුතුයි. ආර්ථිකය ස්ථාවර කිරීමේ මුලික වගකීම් තියෙන්නේ ඔවුන්ටයි.
මෙහිදී ජනමාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලටද හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ප්‍රතිචාර දැක්වීය.
පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත පැවසුවේ ඔහු පාර්ලිමේන්තු පැමිණීමේ අපේක්ෂාවක් නොමැති බවයි. මම නම් යෝජනා කරන්නේ පුද්ගලයන් හෝ පක්ෂ මත දේශපාලනය ගැන හිතනවා වෙනුවට රටේ ප්‍රශ්නයට මුල්තැන දෙන්න ඕන.
රට මේ අර්බුදයෙන් ගොඩනගන වැඩ පිළිවෙළ සාර්ථක කර ගන්න කටයුතු කරන්න ඕන. මීට පෙර මේ රට තිබු තත්ත්වය සමඟ මේ වන විට රට තිබෙන තත්ත්වය සංසන්දනය කිරීමේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැඩ පිළිවෙළ සාර්ථක බව ඔප්පුවී තිබෙනවා. එහි තවත් සකසා ගත යුතු දේ තිබෙනවා නම් ඒ ගැන යෝජනා දෙමින් ඒ රට ගොඩනගන වැඩ පිළිවෙළ ජයග්‍රහණය කරවීම තමයි මේ මොහොතේ අපේ දේශපාලනය වී තිබෙන්නේ. ඒ සඳහා අපි එළඹෙන ජනාධිපතිවරණය සඳහා එතුමාව නිර්පාක්ෂික අපේක්ෂකයා වශයෙන් ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා. ඒ වෙනුවෙන් වන සංවිධාන කටයුතු ඉතා සාර්ථකව මේ වන විට සිදු වෙමින් තිබෙනවා.
ඔබලත් අහනවා මේ වෙනකොට පාර්ලිමේන්තුව ඇතුළේ දේශපාලන අත්දැකීම් වගේම වෘත්තීයභාවයක් තිබෙන, රට ගොඩනගන වැඩ පිළිවෙළ ගැන අවබෝධයක් ඇති දේශපාලනඥයන්ගේ හිඟයක් තිබෙනවාද කියලා. ඒ ප්‍රශ්නයට මම මොකක්ද දෙන පිළිතුර. ජනතාව නේද මේ තෝරා ගැනීම සිදු කළේ..? අපි මහ පොළ, මහවැලිය, තරුණ සේවා, කර්මාන්ත පුර හදමින් රටේ අනාගතය ශක්තිමත් කළා. රූපවාහිනිය වගේම පරිගණකයත් මේ රටට ගෙනාවේ එජාප ආණ්ඩු. අපි අවුරුදු 20ක් ඉදිරිය දැකලා තීන්දු තීරණ ගන්නකොට, අපිට අවලාද නැගුවා. පෞද්ගලිකව මඩ ගැහුවා. ඒ අවලාද මඩ ජනතාව විශ්වාස කළා. ඒ නිසා අවසානයේ රට මේ තැනට ඇද ගෙන වැටුණා. දැන් ඒ වැටුණු රට ගොඩනැගීම අපි කාගේත් මුලික වගකීමයි.
ඒ සඳහා අත්හදා බැලීම් හරියන්නේ නෑ. නිවැරදි දැක්මක් සහිතව වැඩ පිළිවෙළක් ඇතිව ක්‍රියාත්මකවීමට අවශ්‍යයි. බදු ප්‍රතිපත්තියේ සිට විදුලි ගාස්තු අඩු කිරීම දක්වා මේ රටේ සිදුවූ වෙනස්කම් ගැන එදා අපි කළ යෝජනා එකිනෙක සිහිපත් කළොත් අප නිවැරදි බව ඔප්පු වෙනවා.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල කියන කොට ආදායම් වැඩි කර පෙන්වන්න කියලා, ඒ ක්‍රමය අපි දැන ගෙන ඉන්න ඕන. මානුෂික ලෙස ඒ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් වෙන්නේ එවිටයි. ඒ සඳහා දක්ෂ දේශපාලනඥයන් වගේම යම් වෘත්තිභාවයක් ද අවශ්‍යයි. නැවත මේ රට ගෙවුණු අවාසනාවන්ත යුගයට නොවැටෙන්න අපි වග බලා ගන්න ඕන. ඒ සඳහා නිවැරදි තීන්දුව ගත යුත්තේ ජනතාවයි. ජනතාව නිවැරදි තීන්දුව නොගත්තොත් මේ රට පත්වෙන තත්ත්වය හිතන්නවත් බැරි තරම්.
Lanka Newsweek © 2026